උපත් පාලන ක්‍රම 21 ක් ගැන ආච්චිටත් තේරෙන කතාවක්.
පළමු කොටස – ගැබ්ගැනීම් සහ උපත් පාලන ක්‍රම
මේ පෝස්ට් එක දාන්නේ ලෝකයේ දැනට තියෙන එකී මෙකී නොකී සියලුම ආකාරයේ උපත් පාලන ක්‍රම, ඒවා ගැන කෙටි හැඳින්වීමක් සහ ඒවා කොච්චර සාර්ථකද කියන එක කතා කරන්න. ආච්චිටත් තේරෙන්න කියලා එක එක මාතෘකා ගැන කතා කරන එක මේ දවස්වල ට්‍රෙන්ඩ් එක වගේ නිසා මාත් එහෙමම ලියනවා.
මේ පෝස්ට් එක අසීමාන්තික විදියට දිග නිසා කොටස් වශයෙන් දානවා. ඒ කොටස් එන්නේ මේ අනුපිළිවෙලට.
1. මුලින්ම එන ලිපිය දාන්නේ ගැබ්ගැනීම පැහැදිලි කරන්න සහ උපත් පාලන ක්‍රම මූලධර්ම සරලව කියලා දෙන්න.
2. දෙවෙනි ලිපියේ තියෙනවා උපත් පාලන ක්‍රම 11 ක්, ඒවයේ ක්‍රියාකාරීත්වය සහ සාර්ථකත්වය ගැන.
3. තුන්වෙනි ලිපියේ තියෙනවා තවත් උපත් පාලන ක්‍රම 10 ක් ගැන.
මේ ලිපි 03 අද, හෙට සහ අනිද්දා – ඒ කියන්නේ මැයි 13 ඉදන් 15 වෙනිදා දක්වා හැමදාව 07 ට දානවා.ආයේ පස්සේ පෝස්ට් එකක් දාන්නම් මේ ඒ ඒ උපත් පාලන ක්‍රමවල තියෙන අතුරු ආබාධ ගැන කතා කරලා.
මේ පෝස්ට්ස්වල උපත් පාලන ක්‍රම කොච්චර සාර්ථකද කියන එක පෙන්වන්නේ Pearl Index කියන ක්‍රමයට. ඒකෙදි වෙන්නේ මේ ඒ ඒ උපත් පාලන ක්‍රමය මාස 12 ක් පුරාවට අඛණ්ඩව සහ නිවැරදිව භාවිත කරන නෝනලා 100 ක් අතරින් ගැබ්ගැනීමක් වෙන්න පුලුවන් කීදෙනෙක්ට ද කියන එක ගණනය කිරීම. උදාහරණයක් විදියට හැමෝම දන්න වඩාත්ම සුලභ පිරිමි කොන්ඩම් කියන එකේ Effectiveness එක 2.0 යි කියලා කිව්වම ඒකේ තේරුම ගෑනු මනුස්සයෙක් කොන්ඩම් එකක් දාගත්ත මනුස්පයෙක් එක්ක අවුරුද්දක් පුරාවට 100 වතාවක් ඩිස්ටි ඩිඩින් කරාම අවස්ථා 02 ක දි විතර ඒ දෙන්නා ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් කියන එක. Combined Contraceptive Vaginal ring එකක effectiveness එක 0.3 කීවම ඒකේ අදහස ඒ වගේ ring එකක් පාවිච්චි කරමින් කාන්තාවක් අවුරුද්දක් පුරා 100 වතාවක් සෙක්ස් කරොත් ප්‍රෙග්නන්ට් වෙන්න සම්භාවිතාවය තියෙන්නේ 0.3 කට කියන එක. ඒ කියන්නේ එකක්වත් නෑ ඒක මාරම සාර්ථක ක්‍රමයක් කියන එක.
Pearl Index එක කීයද කියලා කියන්නේ අර කවුදෝ වගේ රෑට රෑට දෙපතුල ලඟට ගිහින් බලලා නෙවෙයි, පිළිගත් පර්යේෂණ ක්‍රම වලින් දත්ත රැස් කරලා බලන රිසර්ච් හරහා. සායනික පරීක්ෂාවලදි Pearl Index එක ගන්න ගියාම වඩාත් නිවැරදි වෙන්න එක කාන්තාවකගෙන් විතරක් දත්ත ගන්නේ නැතිව සාම්පල් එකත් ලොකු කරනවා. එතකොට ඔය Pearl Index කියන්නෙත් 1934 තරම් ඈත කාලෙදි රේමන්ඩ් පර්ල් කියන ජීව විද්‍යාඥයා හඳුන්වලා දුන්න ක්‍රමයක්. දැන් අවුරුදු 100 කට කිට්ටු කාලයක් භාවිත වෙන, උපත් පාලන ක්‍රම වල සාර්ථකත්වය මනින්න කෙරෙන ලොකු ලොකු රිසර්ච්වල පවා භාවිත වෙන වඩාත්ම පිළිගත් ක්‍රමය ඒක.
එතකොට මේ දාන පර්ල් ඉන්ඩෙක්ස් එක කීයද කියලා මට කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය. බොරු නෙවෙයි අනේ සත්තයි ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි ඒවා කිව්වේ. එයාලා USAID එකයි ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් කැම්පස් එකේ කට්ටියයි එක්ක එකතු වෙලා ප්‍රසිද්ධ කරපු Family Planning: A Global Handbook for Providers කියන පොතෙනුයි මම pearl index එක ගත්තේ.
ඊට අමතරව මේ උපත් පාලන ක්‍රමවල Category කියලා එකකුත් මම විස්තර කරනවා. Category කියන එක යටතේ මම මේ ඒ ඒ උපත් පාලන ක්‍රමය ඉස්සරහින් දානවා ඒවා Reversible ද, Permanent ද Long-active ද නැත්නම් Limited-active ද කියන එක. Reversible කියන්නේ මොකද්ද කියලා සරලවම කියනවානම් ඒකෙන් අදහස් වෙන්නේ යම් හේතුවක් නිසා අදාළ උපත් පාලන ක්‍රමය භාවිත කරන කෙනෙක් ඒක නතර කරාට පස්සේ එයාට ආයේ ස්වභාවික විදියට ගැබ්ගැනීමක් සිදුකරගන්න පුලුවන් කියන එක. Permanent කියන්නේ ඒකේ අනිත් පැත්ත. කරොත් කරාමයි ආයෝ පස්සේ අනේ අනේ කියලා වැඩක් නෑ. Long-Active කියන්නේ එක පාරක් අදාළ උපත් පාලන ක්‍රමය භාවිත කරාම ඒකේ ක්‍රියාකාරීත්වය අවම වශයෙන් අවුරුදු 03 ක කාලයක් විතර බලපැවැත්වෙනවා කියන එක. Category එක යටතේ Limited-active කියලා දාලා තියෙනවානම් ඒකේ තේරුම ඒ උපත් පාලන ක්‍රමයේ බලපෑම තියෙන්නේ ටික කාලයයි කියන එක. ඒවා එක පාරක් නෙවෙයි අඛණ්ඩව නියමිත කාලවලට හෝ සෙක්ස් කරන හැම වාරෙම ගන්න ඕන. එහෙම ගත්තේ නැත්නම් ඒ ක්ෂණිකවම ගැබ්ගැනීමේ අවධානම ආයේ එනවා.
උපත් පාලන ක්‍රම ගැන කියද්දි පහසු වෙන්න ඉස්සෙල්ලම කියන්නම් ගැබ් ගැනීමක් සිදුවෙන විදිය. මේවා ඉතින් ඔයාලා දන්නවා.
📌 ඩිම්බ කෝෂ සහ ඩිම්බ නිෂ්පාදනය.
ඔන්න තියෙනවනේ ඩිම්බ කෝෂ. මේ ඩිම්බ කෝෂ දෙකට වෙලා පරිනත වෙන ඩිම්බ මාරුවෙන් මාරුවට වම් පැත්තේ හෝ දකුණු පැත්තේ තියෙන ඩිම්බ කෝෂයකින් නිදහස් වෙනවා. ඔන්න එක දවසක එක ඩිම්බයක් ඩිම්බ කෝෂයට ටටා කියලා ෆැලෝපීය නාලය දිගේ ඉස්සරහට එනවා කොළඹ යනවා වගේ. ඕකට තමයි කියන්නේ ovulation එක කියලා. ඒ විදියට ඩිම්බයක් පිටවෙන දිනයට අපි කියනවා ovulation day එක කියලා. සාමාන්‍යයෙන් දින 28 ක ඔසප් චක්‍රයක් තියෙන ගෑල්ලමයෙක්ට අදාළ මාසයේ ඔසප් රුධිරය පිටවෙන්න පටන් ගන්න දවසේ ඉදන් දින 14 ක් ගියාම තමා මේ ovulation day එක එන්නේ.
ඔය ovulation day එකටම කියනවා midpoint කියලත් – ඒ ඇයි කියලා පස්සේ පැහැදිලි කරන්නම්. එතකොට පිරිමි ළමයගේ වෘෂණ කෝෂවලින් නිෂ්පාදනය වෙනවානේ ශුක්‍රාණු. ආයේ ඔය Seminal Vessicle කියන ශරීර කොටසේ නිෂ්පාදනය වෙනවා ශුක්‍ර තරලය. අර ශුක්‍රාණු වෘෂණ කෝෂවල ඉදන් එන ශුක්‍රධර නාලිකා කියලා පොඩි බට දෙකක් දිගේ ඇවිත් ශුක්‍ර තරලය එක්ක මිශ්‍ර වෙලා පිරිමි ළමයගේ ලිංගික අවයවය හරහා ඇවිත් ගෑණු ළමයගේ එකට ඇතුල් වෙනවා ටුස් ටුස් ගාලා.
ඒ විදියට යෝනිය හරහා ඇතුල් වෙන ශුක්‍රානු ඊලඟට ගැබ් ගෙල හරහා ගිහින් ගර්භාෂයට ඇතුල් වෙනවා. ඔය ගැබ්ගෙල කියන එක ගර්භාෂය කියන ලොකු කාමරේට ඇතුල් වෙන්න තියෙන පොඩි සිදුරක් වගේ කියලා මතක තියාගන්න. එතකොට ඒ සිදුර යම් විදියකින් වැහිලා එහෙම ගියොත් ශුක්‍රාණු වලට ඇතුල් වෙන්න බෑනේ. සමහර හෝමෝනවලට පුලුවන් ගැබ්ගෙල ආශ්‍රිතව තියෙන Cervical mucus කියන ජෙල් එකක් වගේ පටල වැඩි කරලා ගර්භාෂයට තියෙන ප්‍රවේශ මාර්ගය අවහිර කරන්න. එතකොට ගැබ්ගැනීමක් නෑ.
📌 ශුක්‍රාණු සහ ඩිම්බය හමුවීම.
දැන් ශුක්‍රාණු ගැබ් ගෙළ හරහා ඇතුල් වෙලා ගර්භාෂයට ආවොත් ඇවිත් එතනින්න නතර වෙන්නේ නෑ. එයාලා ෆැලෝෆීය නාල පැත්තට යනවා. උඹ දකුණු පැත්තේ නාලෙට පලයන් මම වම් පැත්තට යන්නම් කියලා කතාවෙලා වගේ ශුක්‍රාණු දෙපැත්තට බෙදිලා යනවා. ඩිම්බයක් තියෙනවාදෝ කියලා හොය හොය යනවා. සමහර ශුක්‍රාණු එහෙම ඇවිත් දවස් 05 ක් විතර උනත් වල බැහැගෙන ඉන්නවා ගෑල්ලමයාගේ පන්ති ඇරෙනකන් ඉන්න කොල්ලා වගේම. ඩිම්බයත් ඩිම්බ කෝෂයෙන් එළියට ආපු වෙලාවේ ඉදන් සුමනා අමරසිංහ ජෝතිපාලගේ සින්දුවකට නටාගෙන රෝයි ද සිල්වා හොයං මල් ගස් අතරින් දුවං එනවා වගේ ශුක්‍රාණු තියෙනවද බල බල ලතාවට එනවා. ඩිම්බ කෝෂයෙන් නිදහස් උන වෙලාවේ ඉදන් පැය 12 – 24 ත් අතර කාලය තමයි සාමාන්‍යයෙන් ඩිම්බයක් සජීවීව ඉන්නේ. ඉතින් එයා සංසේචනය වෙනවානම් මේ කාලය ඇතුළත එයාට දෛව යෝගයකින් වගේ ශුක්‍රාණුවක් හම්බෙන්න ඕන. අන්න එහෙම ශුක්‍රාණුවක් හම්බුනාම ඩිම්බය එන්න සුදෝ කියලා ශුක්‍රාණුව ලඟට කතා කරගෙන එයා එක්ක මෙව්වා වෙනවා. ඕකට කියනවා සංසේචනය එහෙම නැත්නම් fertilization කියලා. එහෙම උනාම – ඒ කිව්වේ ශුක්‍රාණුවයි ඩිම්බයයි දෙන්නා එක්කෙනෙක් වෙලා ඊලගට ඒක විභාජනය වෙනවා – ඒ කිව්වේ කොටස් වලට වෙන් වෙවී මිලියන ගාණක් සෛල බවට පත් වෙනවා. වෙන ගමන් ඒක හෙමි හෙමින් ආපහු ෆැලෝෆීය නාල දිගේ එනවා ගර්භාෂයට. දැන් බලන්න අර ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිෂ්පාදනය නොවුනා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ ඉතින් ශුක්‍රාණුවලට සංසේචනය කරන්න ඩිම්බයක් නැති නිසා එතනදිත් ගැබ්ගැනීමක් වෙන්නේ නෑ.
📌 කාන්තාවකගේ සරු කාලය හෙවත් fertile window සහ fixed fertile window.
දැන් ඊලඟ කතාවට යන්න කලින් අපි බලමු ඔය උඩින් කියපු ඩිම්බයක් නිෂ්පාදනයවීම සහ එයාට ශුක්‍රාණුවක් හමුවීම වෙන්න පුලුවන් හොඳම කාලය මොකද්ද කියලා. මේකට අපි කියනවා Fertile window එහෙම නැත්නම් කාන්තාවකගේ සරු කාලය කියලා. සරලව මේක තමයි පිරිමියෙක් ගෑල්ලමයෙක් නිදාගන්න පැදුර පෑගුවත් ඒ ගෑල්ලමයා ගැබ්ගන්න වෙන්න පුලුවන් කාලය. ශුක්‍රාණුවකට ගර්භාෂයේ උපරිම දින 05 ක් දක්වා ඉන්න පුලුවන්නම්, ඩිම්බයක් ඩිම්බ කෝෂ වලින් පිට වෙන දවසට දින 05 කට කලින් ගැබ් ගෙළ හරහා ඇතුලට යන ශුක්‍රාණු වලට පුලුවන් වල බැහැගෙන ඉදලා ඩිම්බය ඩිම්බ කෝෂවලින් පිටවුන ගමන් එන්න නංගී කියලා ඒක සංසේචනය කරන්න. ටෙක්නිකලි ඒ කතාව හරි. හැබැයි දවස් 05 ක් තිස්සේ කල් යද්දි යද්දි මේ ශුක්‍රාණුවලත් motility එක ඒ කිව්වේ ඔය ඩිම්බය වෙත පිහිනා යාමේ හැකියාව එහෙම අඩු වෙනවා. ඒ නිසා වඩාත් හොඳම සරු කාලය විදියට සැලකෙන්නේ ඩිම්බයක් නිෂ්පාදනය වන දවස සහ ඒ දවස දක්වා තියෙන කලින් දවස් දෙක. මේ දවස් 03 දි දෙන්නෙක් ඩිස්ටි ඩිඩින් කරාම තමා ගැබ්ගැනීමක් වෙන්න හොඳටෝම ඉඩ තියෙන්නේ. ඊළඟට ඩිම්බය ඩිම්බ කෝෂ වලින් පිට වෙනවා කියලා හිතන්න පුලුවන් දවසට පස්සෙ එන දවස් 02 ක වගේ කාලයත් ගැබ්ගැනීමක් සිදු වෙන්න බැරි නැති සාපේක්ෂව හොඳ කාලයක්. එතකොට ඒ දවස් 02 ත් සරු කාලය යටතට ගැනෙනවා. එතකොට ඔන්න ovulation day එකට තමා අපි කියන්නේ midpoint එක කියලා. Midpoint day එක මැදි කරගෙන මුලට දවස් 02 යි පස්සේ දවස් 02 යි ඔක්කොම දවස් 05 ක් තියනවා සරු කාලය එහෙම නැත්නම් fertile window එක කියලා.
ඕක තව චුට්ටක් පැහැදිලි කරගමු. ඔන්න හිතන්න ගෑල්ලමයෙක්ට ඔසප් වීම වෙනවා මැයි මාසේ 01 වෙනිදා. එයාට ඔසප් වීම ඉවර වෙනවා දවස් 05 කට පස්සේ ඒ කියන්නේ මැයි 05 වෙනිදා. එයාගේ ovulation day එක නැත්නම් midpoint එක එනවා මැයි මාසේ 14 වෙනිදා. එතකොට මැයි මාසේ 12 ඉදන් මැයි මාසේම 16 දක්වා එයාගේ සරු කාලය. හරිද?
හැබැයි මෙන්න මේක ප්‍රශ්නයක්. මොකද්ද? ඔය කියන විදියට ශරීරයෙන් ඩිම්බයක් පිටවීම අදාළ දිනයට එලාර්ම් එකක් තියලා හරිම වෙලාටව වෙන්නේ නැහැනේ.
මොකක් හරි හොමෝන සංකූලතාවයක් නිසා ඩිම්බය කලින් පිට වුනොත් මොකෝ වෙන්නේ? එහෙම නැත්නම් අදාළ දිනයේ රෑ 11.59 ට උනොත් මොකෝ වෙන්නේ? එහෙම නැත්නම් අදාළ දිනයට පිට නොවි පැය 31 ක විතර ප්‍රමාදයකින් පිට වුනොත් මොකද වෙන්නේ? එතකොට අවුලක් නේද? එහෙමත් නැත්නම් දවස් 28 ක ඔසප් චක්‍රයක් ක්‍රමවත්ව වෙන්නෙ නැතිව ඔසප් චක්‍රය අක්‍රමවත් උනොත් ?
ආන්න ඒ නිසා ගැබ්ගැනීම් වැලැක්වීමේ උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන් කතා කරනකොට අපිට තියෙනවා fertile window එකට අමතරව fixed fertile window එක කියලා කතාවකුත්. මේ fixed fertile window එකට අපි ගන්නවා ඔසප් වීම ආරම්භ උන දවසේ ඉදන් එන 08 වෙනි දවස සහ 19 වෙනි දවස දක්වා කාලය. මේ Fixed fertile window එකෙන් කියන්නේ මොනවා හරි දෙයක් නිසා – හෝමෝන ප්‍රශ්නයක් නිසා, නැත්නම් ගත්ත බෙහෙත් ජාතියක් නිසා, ඒත් නැත්නම් ස්ට්‍රෙස් එක වගේ තත්ත්වයක් නිසා, මොකුත්ම නැත්නම් අඩු ගානේ කේන්දරේ ග්‍රහයෝ නීච වීමක් නිසා හෝ midpoint එක එහෙ මෙහෙ උනොත් ඒ කාලය ඇතුලත ගැබ් ගැනීමේ සම්භාවිතාවයක් තියනවා කියන එක. ඒ නිසා ඔසප් වීම පටන් ගත්ත දවසේන් පස්සේ එන 08 වෙනි දවසේ ඉදන් 19 වෙනි දවස දක්වා කාලයේ ඩිස්ටි ඩිඩින් කරනවා නම් පරිස්සම් වෙන එක වඩා හොඳයි. විශේෂයෙන්ම ඔසප් චක්‍රය දිහා අවධානයෙන් ඉදිමින් කරන උපත් පාලන ක්‍රම වලදි (මේවට අපි කියනවා Fertility awareness based methods) වලදි මේ fixed fertile window එක හරිම වැදගත්.
📌 එන්ඩොමිට්‍රියම් ලේයරය
හරි අපි දැන් ගැබ් ගැනීම් ගැන කතාව ඉස්සරහට යමු. ඔන්න ගර්භාෂයේ ඇතුළත බිත්තිවල තියෙනවා එන්ඩොමිට්‍රියම් කියලා ලේයරයක්. ලේයරයක් කිව්වට ලේයර් දෙකක්. ඒ එන්ඩොමිට්‍රියම් එකේ උඩ ලේයර් එක (functional layer) මාසෙන් මාසෙට ovulation එක කිට්ටු කරලා වර්ධනය වෙනවා ස්පොන්ජ් එකක් වගේ. මේක නිකන් ඔය අපේ ගෙවල්වල තියෙන රෙදි පටි ගොඩාක් එකතු කරලා හදන අර පාපිස්සක් වගේ කියලා හිතන්නකො. ඒ පාපිස්සක් උඩට පොඩි මුං ඇටයක් එහෙම වැටුනම ඒකේ රැඳෙනවනේ. අන්න ඒ වගේ දෙයක් තමා මේ එන්ඩොමිට්‍රියම් එකේ වෙන්නේ. ඕක සංසේචිත ඩිම්බයක් රඳවගෙන ඒ ඩිම්බය කලලය බවට පත්වෙද්දි ඒ කලලයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය සපයමින් වැදෑමහ (placenta) බවට පත් වෙනවා. ඒ එන්ඩොමිට්‍රියම් ලේයරයේ ඝනකම හෝමෝන ආදිය නිසා අඩු වැඩි වෙන්න පුලුවන් කියන එකත් මතක තියාගන්න. මොකද සංසේචිත ඩිම්බයක් නිසි විදියට රඳවාගන්න බැරි තරම් එන්ඩොමිට්‍රියම් ලේයරය තුනී උනොත් ආං එතනදිත් ගැබ්ගැනීමක් වෙන්නේ නෑ.
📌 කලල අධිරෝපනය.
අර සංසේචනය උන ඩිම්බය තව ටික දවසක් ගර්භාෂයේ එකල මෙකල වෙවී තිබිලා ඊට පස්සේ හිමීට මේ කියන එන්ඩොමිට්‍රියම් එකේ රැදෙන්න ඕන. එහෙම රැඳුනාම ඒකට කියනවා කලලරූපය රෝපනයවීම එහෙම නැත්නම් අධිරෝපනය කියලා. සිංහලෙන් නම් implantation එකක්. ඒක තමයි ගැබ්ගැනීමක් නිල වශයෙන් ආරම්භ වෙන අවස්ථාව. ගහකින් බීජයක් වැටිලා සරු පසක මුල් අදිනවා වගේ. එහෙම උනොත් විතරයි සංසේචිත ඩිම්බයක් කලලයක් දක්වා වර්ධනය වෙන්නේ. සාමාන්‍යයෙන් සංසේචනය උන ඩිම්බයක් මේ විදියට implant නොවී ගර්භාෂයෙන් පිට වෙන්නත් පුලුවන්. එහෙම උනොත් ඒත් ගැබ්ගැනීමක් නැහැ.
📌 ගැබ් ගැනීමක් වලක්වාලන විදිය.
දැන් උඩ ටික කියෙව්වාම ඔයාලට තේරෙන්න ඇති ගැබ්ගැනීමක් සිදු වෙන පිලිවෙල වගේම ඒ පිළිවෙල ඇතුලේ ගැබ්ගැනීමක් වලක්වන්න පුලුවන් ක්‍රම 05 කුත්. ඒ එකක් තමයි fixed fertile window එකේදි සෙක්ස් නොකර ඉන්න එක? පුලුවන්ද? බැරිම නම් ඉතින් ඉස්සරහින් කරන එකවත් නොකර ඉන්නකො. ඕක ඇරුනම තව කොච්චර නම් දේවල් තියෙනවද කරනවා නම් දෙන්නා එක්ක. දෙවෙනි එක තමයි සෙක්ස් කරාට අම්මේ මුත්තේ කිවත් පිරිමි ළමයගේ එකෙන් ගෑල්ලමයගේ යෝනියට ශුක්‍රාණු ඇතුල් වෙන්න නොදී හිටියාම එතකොටත් ගැබ්ගැනීමක් නෑ. අනිත් ක්‍රමය තමා යෝනියට ඇතුල් උනත් ගැබ්ගෙල හරහා ශුක්‍රාණුවලට ඇතුල් වෙන්න අමාරුකිරීම. ඒ දෙකෙන්ම ඩිම්බයක් සංසේචනය කරන්න ශුක්‍රාණු නැති වෙන නිසා ගැබ්ගැනීමක් වෙන්නේ නෑ. හතරවෙනි එක තමයි ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිෂ්පාදනය වීම වැලැක්වීම. එතකොට ශුක්‍රාණු පණ කඩාගෙන ආවට වැඩක් නෑ සංසේචනය කරන්න ඩිම්බයක් නෑ. පස්වෙනි එක තමයි එන්ඩොමිට්‍රියම් ලේයරයේ ඝණ බව අඩුකිරිම. එහෙම උනාම implant එකක් සිදුවෙන්න ඉඩක් නෑ. මේ 05 තමයි ඔය උපත් පාලන ක්‍රමවල ක්‍රියාකාරිත්වයට පදනම් වෙන මූලධර්ම. කොන්ඩම් ද ලූප් ද පැච් ද ඔය ඕනෑම එකක් වැඩ කරන්නේ කතා දෙකක් නෑ මේ මොනවා හරි මූලධර්මයකට.
📌 Menstrual Cycle සහ Estrous Cycle
දැන් මේ මොනම විදියකට හෝ ගැබ්ගැනීමක් සිදු නොවුනොත් ඊලඟට මොකද වෙන්නේ? එතකොට මමත් ඉඳලා වැඩක් නෑනේ එහෙනම් කෙල්ලේ අපි ගියා කියලා එන්ඩොමිට්‍රියම් එකේ උඩ ලේයරයත් ගර්භාෂයෙන් ගැලවිලා යනවා. ඩිම්බයත් එක්කම, නැත්නම් implant නොවුන සංසේචිත ඩිම්බයක් තියෙනවානම් ඒකත් එක්කම ශරීරයෙන් යන්නම යනවා. ඔසප් වීම කියලා මාසකෙට විතර සැරයක් වෙන්නේ අර සංසේචනය නොවුන ඩිම්බයයි, ඩිම්බයක් සංසේචනය නොවුන නිසා තවදුරටත් අවශ්‍ය නැති එන්ඩොමිට්‍රියම් ලේයරයයි ශරීරයෙන් පිටවීම.
Menstrual blood එහෙම නැත්නම් ඔසප් රුධිරය කියන්නේ ලේ විතරක් නෙවෙයි. ඒකේ තියෙනවා සංසේචනය නොවුන ඩිම්බයේ කොටස්, ගැබ්ගැනීමක් ඇති උනානම් කළලය සංවර්ධනය කරන්න බලාන නිපදවපු පෝෂක කොටස් සහ අර කියපු එන්ඩොමිට්‍රියම් ලේයරය සහ ඒ ආශ්‍රිත පටක. period cramps කියලා කියන්නේ එන්ඩොමිට්‍රියම් ලේයරය ගර්භාෂයෙන් ඉරිලා යද්දි එන වේදනාව. මාසිකව සිදුවෙන මේ ක්‍රියාවලිය තමයි Menstural Cycle හෙවත් ඔසප් වීම කියන්නේ.
ඔය වැඩේ වෙන්නේ සත්ත්ව ලෝකයේ මිනිසා, වඳුරා වගේ ඉතාම සීමිත සත්ත්ව විශේෂ කීපයකට විතරයි කියලා මම දවසක් story එකක් දැම්මා මතක ඇති. එතකොට ඔයිට අමතරව තියෙනවා Estrous cycle කියලා එකක්. Estrous Cycle තියෙන සත්ත්ව විශේෂවලට නිශ්චිත කාලයකට සැරයක් ඩිම්බයක් නිෂ්පාදනය වෙලා ඒක සංසේචනය නොවුනොත් ඒක ශරීරයෙන් පිට වෙනවා. එතනට එනකන් estrous cycle එක මිනිස්සුන්ගේ menstural cycle එකට සමානයි. හැබැයි මිනිස්සුන්ට වගේ එන්ඩොමිට්‍රියම් ලේයරයක් ශරීරයෙන් ගැලවිලා පිට වෙන්නේ නෑ. ඒ වෙනුවට ඒ සත්තුන්ගේ එන්ඩොමිට්‍රියම් ලේයරය ආපහු ගර්භාෂ බිත්ති ඇතුළට උරාගෙන ඊලඟ ovulation එක ලං වෙනකොට ආයෙම වර්ධනය කරනවා. ඔය බල්ලන්ට වගේ සත්තුන්ට තියෙන්නේ Estrous cycle එකක්.
වාසනාවන්ත සත්තු කියලත් හිතෙනවා වෙලාවකට. ඒත් ඇත්තටම මිනිස්සුන්ට ඔය ඝනත්වය අඩු වැඩි වෙන එන්ඩොමිට්‍රියම් ලේයරයක් එන්නේ වඩාත්ම සුදුසු සංසේචිත ඩිම්බය කලලයක් බවට වර්ධනය කරන්න ඉඩ ලබා ගන්න. සංසේචිත ඩිම්බය ඒ තරම් හොඳ මිනිහෙක් නෙවෙයි වගේ නම් implant එකක් වලක්වන්න ශරීරයට පුලුවන් එන්ඩොමිට්‍රියම් එකේ ඝන බව අඩු කරගැනීමෙන්. ඒ කියන්නේ ඒකත් ඔය වඩාත්ම උචිතම ජීවියා ආරක්ෂාකරගෙන මානව වර්ගයා ඉස්සරහාට ගෙනියන්න තියෙන එක්තරා ආකාරය පරිනාමික රීතියක්. ඒවා ඉතින් ඕන නෑ අපිට මෙතනට.
📌 ගැබ්ගැනීමක් උනාමයි නම්.
දැන් ඔක්කෝම හරියටම වෙලා Implant එකක් උනාම – ඒ කියන්නේ ගැබ්ගැනීමක් උනාම එන්ඩොමිට්‍රියම් ලේයරය හිමි හිමින් වැදෑමහ බවට පත්වෙන්න ගන්නවා. එතකොට ඒ ආශ්‍රිතව නිෂ්පාදනය වෙනවා human chorionic gonadotropin (hCG) කියලා හෝමෝනයක්. එයා තමා එතනින් ඉස්සරහට කළලය භාර අරගෙන සාර්ථක දරු උපතක් දක්වා වැඩේ බලාකියාගෙන යන්නේ. මේ හෝමෝනය නිපදවෙන ප්‍රමාණය ලැබ් එකකදි පරීක්ෂා කරාම ඒ හෝමෝනය කොච්චරක් අපේ ඇඟේ තියෙනවාද කියන එක අනුව කියන්න පුලුවන් ඔන්න එයා ප්‍රෙග්නන්ට් වෙලාද නැද්ද කියලා. ප්‍රෙග්නන්සි ටෙස්ට් කියලා ටවුමේ ලැබ් එකේදි කරන්නේ ශරීරයේ තියෙන hCG ප්‍රමාණය පරීක්ෂා කරන එක.



